Friday, August 26, 2016

යකඩ යකා බිලිගත් ජීවිත


2016 අගෝස්තු මස 24 11:13:51 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 අදහස්(0)  බැලූවෝ (2133)
 
20-Rasa-Page-05-1    

ආසියාවේ ප්‍රථම වරට අශ්ව කෝච්චියක් ධාවනය වූයේ ලංකාවේය. 1832 දී එම කෝච්චිය කොළඹ සිට මහනුවරට ධාවනය විය. ලංකාවේ දුම්රිය මාර්ගය තැනීම ආරම්භවූයේ හෙන්රි ෆෝඞ්  ආණ්ඩුකාරවරයාගේ කාලයේය.

අශ්ව කෝච්චියෙන්  පසු 1858 දී උඩරට දුම්රිය මාර්ගය කොළඹ සිට මහනුවර දක්වා ඉදිකිරීම ආරම්භ විය. මෙම ගමන්මග 1870 දී පේරාදෙණිය දක්වාද 1899 දී බණ්ඩාරවෙල දක්වාද දීර්ඝ කෙරිණ පසුව එය බදුල්ල දක්වා ම දීර්ඝවිය.

දුම්රියක අවශ්‍යතාව 1864 දී පමණ දැනුණේ මහනුවර දිස්ත්‍රික්කයේ කෝපි වගා අස්වනු කොළඹට ප්‍රවාහනය කිරීම සඳහාය. 1871 දී කෝපි වගාව විනාශවීමත් සමග සුදු පාලකයෝ  තේ වගාව හඳුන්වාදුන්හ. ඉන්පසු තේ ප්‍රවාහනයට දුම්රිය යොදා ගැනිණ.
SLD_20160821_F005
ඊට අමතරව  1880 දී පමණ තේ වතුවල කම්කරුවන්, ආහාර ද්‍රව්‍ය හා පොහොර ප්‍රවාහනයටද දුම්රිය යොදාගැනීම සිදුවිය.

මුහුදුබඩ දුම්රිය මාර්ගය හා උතුරු නැගෙනහිර දුම්රිය මාර්ග ඉදිවුයේ ඉන්පසුය. ඒ දවස්වල දුම්රිය මාර්ගය දෙපස ඉදිකිරිම් තහනම් කලාපයක් වූවා පමණක් නොව, දුම්රිය මගේ පා ගමනින් යාමද තහනම් කිරීමට සුදු පාලකයෝ පියවර ගත්හ.

එය දඩුවම් ලැබිය හැකි වරදක් බවට නීතියක් ද විය. “දුම්රථ මාර්ගයේ ගමන්කරන අයවලුන්ට නඩු මාර්ගයේ ප්‍රකාර අච්චු කරනු ලැබේ.” යැයි සුදු මහත්තුරු එදා දුම්රිය මග දෙපස සවිකළ අවවාද පවුරු අදත් සමහර තැන්වල දැකිය හැකිය.

ඊට හේතුව අද දක්වාම එම නීතිය ක්‍රියාත්මක වන බැවිනි. කෙසේ නමුත් දුම්රිය මගේ හා  දුම්රිය මග අයිනේ ගමන් කිරීම බොහෝ  ප්‍රදේශවල සිදුවෙයි.
ජනගහනය වැඩිවීමත් සමග ජනාවාස වැඩිවීම නිසා නීතිය ගණනකට නොගෙන පාරක් තොටක් නැති ස්ථානවල පවා නිවාස ඉදිවීම නිසා විකල්ප ප්‍රවේශ මාර්ග නොමැතිකමින් බොහෝ දෙනෙක් රේල් පාරේ ගමන් කරති. මේ අවකාශය දුම්රියට දිවි දෙන්නන්ට මාහැගි අවස්ථාවකි.

ඔවුන් එකවරම දුම්රිය මගට පිවිසීම හෝ එකවරම රේල්පීල්ලට ගෙල තැබීම නිසා මරණයෙන් මුදවාගැනීමට නොහැකිවන බව දුම්රිය රියදුරෝ කියති.
තවත් සමහරු මියැදුණේ දුම්රිය හරස් මාර්ග වලදි දුම්රිය දැක දැක වාහන ධාවනය කිරීමේදීය.

හික්කඩුව ලියනගේ සිරිල් සුගතදාස මහතා දුම්රිය රියදුරෙකි.

ඔහු පවසන අන්දමට 31 වසරක වන ඔහුගේ ඉකුත් සේවා කාලය තුළ තමන් සේවය කළ දුම්රියේ ගැටී සිදුවු මරණ සංඛ්‍යාව 32 කි.

අම්බලන්ගොඩ  බටපොල මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා දුම්රිය රියදුරෙකුවූ ඔහු තම අත්දැකීම් මෙසේ විස්තර කළේය.

20-Rasa-Page-05-3


“දුම්රිය රියදුරෙක් ලෙස බැඳුණාම වසර 5 ක පුහුණු කාලයක් තිබෙනවා. දුම්රිය එන්ජින් පිළිබඳව කාර්මික අධ්‍යාපනය, එන්ජින් වර්ග, දුම්රිය රියදුරු සේවයේ ආරක්ෂක නීති, රියදුරෙකුගේ වගකීම මගී ජනතාව හා දේපල ආරක්ෂා කිරීම යනාදිය පිළිබඳව අවබෝධයක් හා  පුහුණුවක් ලබාගැනීමෙන් පසු විභාගයකට මුහුණ දුන්නා.

එය සමත් වුණත් එක පාරටම කෝච්චියක් එළවන්න දෙන්නේ නැහැ. ජ්‍යෙෂ්ඨ රියදුරෙක් සමඟ එන්ජිමේ යන්න අවස්ථාව ලැබෙනවා.  ඒ, අමතර දුම්රිය රියදුරෙක් වශයෙන්.  අවසානයේ තනියම දුම්රියක් ධාවනය කළහැකියැයි ප්‍රධාන දුම්රිය පරීක්ෂකවරයෙකු විසින් සෑහීමකට පත්වී දෙන සහතිකයෙන් පසුවයි දුම්රිය බාර දෙන්නේ.

දුම්රියේ කෙනෙක් ගැටී මරණයට පත්වූ විට ඔබගේ මානසික තත්ත්වය වෙනස් වෙනවාද?  මම විමසුවෙමි.

ඔහු කතාකළේ  විනාඩි කීපයක නිහඬතාව රැකීමෙන්  පසුය.

අපිට ලොකු කනගාටුවක් ඇතිවෙනවා. ඒත්  අපට තිබෙන වගකීම ඉහළයි. බොහෝවිට එකවරම දුම්රිය මගට සියදිවි නසාගැනීමේ අරමුණින් පැමිණීම නිසා හෝ  එකවර රේල් පීල්ලට බෙල්ල තැබීම නිසා ඔවුන් බේරා ගැනීමට ඉඩ ලැබෙන්නේ නැහැ.

ඔබ වඩාත් සසල කළ සිද්ධි තියෙනවාද ?

ඔව්.... ඒවා  අතරින් වඩාත් ශෝචනීය සිද්ධියක් තමයි. බණ්ඩාරවෙලදි සිදු වුණේ. මම එදා වැඩකළේ කළුතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවකයන් පිරිසක් වෙන්කරගෙන තිබූ විශේෂ දුම්රියක. බණ්ඩාරවෙල දුම්රිය ස්ටේෂන් එකේ අපි නතර කළේ ඉදිරියට එන දුම්රියකට ඉඩ දෙන්න. ඒ වෙලාවේ පාසල් නිල ඇඳුමින් සැරසුණු බණ්ඩාරවෙල නගරයේ පාසලක ටයි  එකක් පැලඳගෙන සිටි ශිෂ්‍යාවක් දුම්රිය එන්ජින් එක ළඟටම ඇවිත් මාත් එක්ක කතාකළා.
අන්කල්, දියතලාව පැත්තට දැන් කෝච්චියක් නැද්ද කියලා එයා ඇහුවා. මම කිව්වා ඒක ප්‍රමාදවෙයි  අපි ගියාට පස්සේ තමයි එන්නේ කියලා. ඊට පස්සේ එයා ඉවත්ව ගියා.

මම දුම්රිය ඉදිරියට ධාවනය කර කිලෝ මීටරයක් විතර ඉස්සරහට යනකොටම එයා එක පාරට කෝච්චියට පනිනවා මං දැක්කා. කිසිම අයුරකින් බේරාගන්න බැහැ. එම ස්ථානයේදීම එයා මිය ගියා.

20-Rasa-Page-05-5

ඒ ළමයගේ වයස අවුරුදු 18 ක් විතර ඇති. මටත් ඒ වයසේම දුවක් ඉන්නවා. මට එකවරම එයා සිහිවුණා. එම සිදුවීම මට දැඩි කම්පනයක් ඇති කළා. මෘත දේහය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට බාරදීලා  මම යළිත් ගමන ආරම්භ කළා.

කොතරම් සංවේදී වුණත් මානසික ඒකාග්‍රතාව රැකගත යුතු අයුරු අපි ඉගෙනගෙන තියෙනවා. මොකද මගී ජීවිත රැසක් හා දේපල රැකගැනීමේ වගකීම අපට තියෙනවා. පසුව මට දැනගන්න ලැබුණා දෙමාපියන් සමග ඇතිවූ ප්‍රශ්නයක් නිසා එයා සියදිවි නසාගත්තා කියල.

1991.3.19 වෙනිදා තවත් අමතක නොවන සිදුවීමක් වුණා. රෑ 10.50ට වේයන්ගොඩ සිට කොළඹ බලා ධාවනයවන පවර්සෙට් දුම්රියේ එදා මම වැඩකළා. රාගම වල්පොල දුම්රිය ස්ථානයට නුදුරු තැනදි රේල් පාරේ කෙනෙක් නිදාගෙන ඉන්නවා වගේ කෝච්චියේ ඉදිරි ලයිට්වලින් මම එක වරම දැක්කා. නළාව ගහලා බ්රේක් ගහන  කොටම එයා නැගිටින්න උත්සාහ කළා. නමුත් කකුලක් උඩින් දුම්රිය ගමන්කර තිබුණා. කකුල වෙන් වුණත් එයාගේ පණ බේරුණා.
35 හැවිරිද එම පුද්ගලයාත් කකුලත් රාගම දුම්රිය ස්ථානාධිපතිට බාරදීලා අපි ගමන් ඇරඹුවා.

එයා මත්පැන්වලට ඇබ්බැහිවූ අයෙක් බවත්,  අධික ලෙස බීමත්ව පැමිණ දුම්රිය පාරේ නිදාගෙන ඇති බවත් පසුව දැන්ගන්න  ලැබුණා.

දුම්රිය හරස් මාර්ගවලදී දුම්රියේ ගැටී මියයාම් ගැන මොනවද හිතන්නේ?

ඒක නම්  බොහෝවිට සිදුවෙන්නේ දුම්රිය මාර්ග  හරහා වාහන පදවන අයගේ නොසැලකිල්ල නිසයි.

ඒවගේම ඇතැම් හරස් මාර්ගවල දුම්රිය එනවිට වසාදමන ගේට්ටු නොමැතිකමින් මෙන්ම තිබෙන ගේට්ටවුල මුරකරුවන්  නොමැති අවස්ථාවල  සිදුවු අනතුරුත් තියෙනවා.

1994.4.12 වැනිදා. එදා  නාවින්නේදි  මං වැඩකළ දුම්රියෙත් වාහනයක් ගැටී අනතුරට ලක්වුණා. හරස් පාරේ ආපු කැබ් රථයක් දුම්රිය පාර හරහා යන්න උත්සාහ කරනවිට මේ අනතුර  සිදූවුණා. මම බ්රේක් ගැහුවා එතකොට දුම්රියත් පීලි පැන්නා.

කැබ් රථය පැදවූ පුද්ගලයා බිරිඳ හා ළමයි දෙන්නෙකුත් එක්ක පන්සලට ගිහින් එද්දී මේ අනතුරට මුහුණදී තිබුණා. අපි වහාම මේ හතරදෙනා අරගෙන කලුබෝවිල රෝහලට යැවීමට කටයුතු කළා. බිරිඳ හා ළමයි දෙදනා බේරුණත් රිය පැදවු ව්‍යාපාරිකයා  ලොකු සැත්කමකින් පසු  මියගොස් තිබුණා.
මෙහෙම අනතුරකින් සිදුවන මරණවලදි දුම්රිය රියදුරාගේ කටඋත්තරයක් හදිසි මරණ පරීක්ෂණයේදී ලබාගන්නවා. එය සිදුකරන්නේ ක්‍රමවත් විදියට දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට පසුවයි අපි ඒ සඳහා යන්නේ.  හැබැයි එදා ඒ මරණකරුගේ පවුලේ ඥාතියෙක් මා සිටි ගෙදරටම ඇවිත් මරණය ඉක්මනින් ගන්න උදව්කරන ලෙස ඉල්ලීමක් කළා. 

මම දෙපාර්තමේන්තුවෙන් අවසර අරගෙන කලුබෝවිල රෝහලට ගියා.

මිනිය හඳුනාගන්න එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි මරණකරුගේ බිරිඳ එම ස්ථානයට ගෙන ආවත් ඒ වනවිටත් ඇය සැමියා මියගිය බව දැන හිටියේ නැහැ. මරණය දැනගත් සැණින් මම දුම්රිය රියදුරා බව දැනගත් එම කාන්තාව මගේ ඇඟට පැනලා මගේ බෙල්ලෙන් අල්ලගන්න උත්සාහ කළා. ඒක නුහුරු අත්දැකීමක්.

කොටි කලබල තිබූ කාලයේ  එම ප්‍රදේශවල වැඩකරල තියෙනවාදැයි ඇසුවෙමි. 

එම අත්දැකීමක්ද සිරිල් මහතා පැවසුවේ මෙසේය. 

ඒ කාලේ මම වැඩ කළේ කොළඹ - මඩකළපුව දුම්රියේ. කොටි කලබල නිසා ගෙදර අය හරිම බයෙන් හිටියේ. ඒ කාලේ වෛද්‍යවරයෙක්, මේසන් බාස් කෙනෙක් මාළු ව්‍යාපාරිකයෙක් ඇතුළු සිංහල අය කීපදෙනෙක්ම කොටි ප්‍රහාරවලින් මැරුණා. ප්‍රවෘත්තිවලින් මේ කලබල අහල අනේ රස්සාව දාල හරි ගෙදර එන්න කියලා බිරිඳ කරදර කළා. නමුත් අපේ රාජකාරිය එහෙම අතඅරින්න පුළුවන් එකක් නොවෙයි.

අපටත් තිගැස්මක් තිබුණා. නමුත් වැඩ කළා.

එතකොට එම දුම්රියවල වැඩකළ රියදුරන් 6 දෙනාගෙන් 5 දෙනක්ම සිංහල අය. අනෙක් රියදුරා දෙමළ. 

අපි අපිට ආරක්ෂාවක් දෙන්න කියල. දුම්රිය දෙපාර්තමේන්තුව හරහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා. ඊට ප්‍රතිචාරයක් ලෙස අපට යුද හමුදා ආරක්ෂාවක් දුන්නා. ඒ බව දැනගෙන කොටි සංවිධානයෙන් අපට දුම්රිය සේවයේ වැඩකරන දෙමළ සේවකයන් අතේ පණිවුඩ එවල තිබුණා. බය නැතිව වැඩකරන්න කිසිම කරදරයක් කරන්නේ නැහැ කියලා.

එහෙම කළේ කොටි සංවිධානයේ අයත් මෙම දුම්රිය ඔවුන්ගේ ගමන් සඳහා යොදාගත්ත නිසා වෙන්න ඇති. 

අලි කරදරවලට මුහුණ දීල තියෙනවාදැයි විමසුවෙමි. 

ඔව් එහෙම අනතුරක් උනාමත් අපිට ලොකු වගකීමක් තියෙනවා. 2008 නොවැම්බර්වලත් මම වැඩකළේ කොළඹ - මඩකළපුව “මීනගයා”  දුම්රියේ.
මින්නේරියේදි  අලුයම 1 ට පමණ එකවරම අලියෙක් රේල්පාරට ආවා. අලියා දුම්රියේ හැපුණා. කෝච්චියට යටවෙලා හිටිය අලියා පැය 2 ක් විතර හුස්ම ඇදලා මැරුණා. ඒක  හරිම සංවේදී දර්ශනයක්. ඊට පස්සේ වන ජීවී එකෙන් ඇවිත් අලියා කෑලිවලට කපලා ඉවත්කළා 
තවත් දවසක් මඩකළපුව-සේවා දුම්රියක වැඩ කරද්දි අලි ඇබැද්දියක් වුණා. සේවා දුම්රිය කියන්නේ රේල්පාරේ නඩත්තු කටයුතු සඳහා යොදවන දුම්රිය-දුම්රිය ගමන් නැති රාත්‍රී කාලයේ තමයි මෙම සේවා සඳහා යොදවන්නේ.

එදා ගල්ලෑල්ල දුම්රිය ස්ථානයට නුදුරින් සිල්පරකොට බාන්න දුම්රිය නතර කර තිබුණා. නැවත දුම්රිය ධාවනයට අදාළ සංඥාව දෙනතෙක් අපි දුම්රියේම විවේක ගත්තා. රියදුරු අසුනේම විවේක ගනිමන් සිටියදී දුම්රිය පැද්දුණා. මම  සහ රියදුරු සහායක  පුදුමයට පත්වුණා.

අපි හනිකට නැගිටලා බලනකොට විශාල අලියෙක් කෝච්චියේ එන්ජිමට පිට තියලා හේත්තුවෙලා පිටකහ ගන්නවා.  ඇත්තටම අපි බයවුණා. මේ එන්ජිමේ හැංගෙන්නවත් තැනක් නැහැ.  අපි බයේ ගැහීි ගැහී හිටියා. නමුත් ටික වෙලාවකින් අපිට කරදරයක් නොකරම අලියා යන්න ගියා.

ඔබ කිව්වා පුද්ගල මරණ 32ක්  සේවා කාලය තුළ සිදුවුණා කියල එහෙම සිදුවීම්වලින් පසු හොල්මන් සිද්ධිවලට මුහුණ දීල තියෙනවාද? 

දුම්රිය ධාවනය කරද්දිනම් එහෙම දැකලා නැහැ හැබැයි මෙහෙම දෙයක් වුණා.

එදා මම වැඩකළේ බදුල්ලෙන්-කොළඹ යන රාත්‍රී තැපැල් දුම්රියේ. බදුල්ලේ සිට නාවලපිටියට ගියාම මගේ සේවාමුරය අවසන් උනා. මම රෑ 1.00 ට විතර  දුම්රියෙන්  බැහැලා  මගේ නිල නිවාසයට යන්න පිටත් වුණා. ඒක හරිම පාළු පරිසරයක්.  කන්ද නැගලා යද්දි මම දැක්කා සුදු සාරියක් ඇඳගත් කාන්තාවක් ඉන්නවා. තව ටිකක් ළංවෙනකොට දැක්කා එයාගේ හිසේ රතුපාට මල් ගහලා වගේ.

මම හිතට ධෛර්යය  අරන්  තවදුරටත් ඉදිරියට යනකොට දැක්කා කාන්තාවන් පේළියක් එක දිගට එනවාවගේ සියලුදෙනා සුදුපාට සාරි ඇඳගෙන හිටියා. එතකෙට නම් මම බයවුණා.

මම මගේ නිල නිවාසයට යන්නෙ නැතිව ආපසු හැරිලා දුවලා දුවලා පොදු නිල නිවාසයට ගිහින් දොරවහ ගත්තා. දොරට මේසයත් හිරකරලා  නින්දට ගියා. ඒත් නින්ද ගියේ නැහැ.

පසුදා උදේ 7.00 ට විතර මම යනකොට ඒ පාරේ තියෙන ගෙයක ජීවත්වන  කලකට පෙර මියගිය දුම්රිය රියදුරෙකුගේ බිරිඳ හිනාවේගෙන ඉස්සරහට ආවා. ඒ ඇන්ටි ඇහුවා “පුතා ඇයි මේ වෙලාවේ, ඊයේ රෑ නේද පුතා එන්න ඕනෑ කියලා. එතකොට මම, මට වෙච්චි සිද්ධිය කිව්වා. ඒ ඇන්ටිට හිනා ගියා. එයා කිව්වා අනේ පුතා. ඒ අපේ ගෙදර තිබුණ කිරිඅම්මා දානෙට ආව අයනේ කියලා. මට ලජ්ජා හිතුණා.

දිවි නසාගන්න උත්සාහ කළ අය බේරාගත් අවස්ථාත් තියෙනවද?
ඔව්. 1996.11.24 වැනිදා මම වැඩකළේ කාර්යාල දුම්රියේ. විල්වත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කළ අවස්ථාවේ  අවුරුදු 15 ක විතර ළමයෙක් දුවගෙන ආවා. අනේ අන්කල් අම්මයි චූටි මල්ලියි කෝච්චියට බෙල්ල තියාගෙන ඉන්නවා කිව්වා.

මම එක පාරටම බැලුවේ ඉස්සරහ. ඉස්සරහ එහෙම කෙනෙක් හිටියේ නැහැ. අපි ඒ ළමයත් එක්කම ගිහින් කෝ පෙන්වන්න කිව්වා බලනකොට දුම්රිය නැවතුම් වේදිකාව පැත්තෙ නොවෙයි අනෙක් පැත්තේ කළුවරේම දරුවෙක් තුරුලුකරගෙන පෙට්ටි දෙකක් අතරින් රේල්පාරේ බෙල්ල තියාගෙන කාන්තාවක් ඉන්නවා දැක්කා.

අපි ඒ දෙන්නා එළියට ඇදලා අරගත්තා. ඇහුවාම කිව්වා බීමත් සැමියාගෙන් කරදර නිසා සියදිවි නසාගන්න තීරණය කළා කියලා.  

අපි එයාට අවවාද කරලා කරුණු පැහැදිලි කිරීමෙන් පසු ළමයි දෙන්නත් එක්ක යන්න ගියා.

හැබැයි ලොකුපුතා අපට කිව්වේ නැතිනම්  ඒ පොඩි පුතයි අම්මයි දෙන්නම නැතිවෙනවා.

දුම්රිය මාර්ග අනුව රැකියාවේ වෙනත් අසීරුතා මොනවද විමසුවෙමි. 

මෙහෙමයි, මොන දුම්රිය මාර්ගය වුණත් අපිට කමක් නැහැ. හැබැයි, උඩරට දුම්රිය මාර්ගයේ වගකීම වැඩියි. වංගු වැඩියි. බිංගෙවල් වැඩියි.  මීදුම ගලනවා. හිටිගමන් පස්කඳු නාය යනවා  කැලෑගිනි තැබීම් දුම්රිය මග දෙසට පැතිරෙනවා. මේ කාරණා නිසා හරිම  විමසිල්ලෙන් පරිස්සමෙන්  ධාවනය සිදුකරන්න වෙනවා.

මේ නිසා   උඩරට දුම්රියේ  අඩුම කාලයක් සේවය කරන්න සමහරු උත්සාහ කරනවා. නමුත් මම නම් කැමතියි. ඒකට හේතු දෙකක් තියෙනවා එකක්  මම මගේ බිරිඳ හා දරුවන් සමග ජීවත්වෙන්නේ බදුල්ලේ. අනෙක් කාරණය තමයි සමස්ත දුම්රිය මගේ ලස්සනම කොටස තියෙන්නේ උඩරට දුම්රියමගේ කඩුගන්නාව  හා බදුල්ල අතරයි. ඒ පරිසරයට මම හරිම ආශයි.

දුම්රිය අනතුරු නිසා  පුද්ගලයන් මරණයට පත්වූ අවස්ථා කොතෙකුත් තියෙනවා. ඒ අතර   අනතුරක් නොවී බේරාගැනීමට හැකියාව ලැබු අවස්ථා තියෙනවා. දිවි බේරාදීමට හැකිවූ අවස්ථා මෙනෙහි කිරීම නම් සිතට සතුටක් සැනසුමක් යැයිද සිරිල් මහතා කීවේය. 

හපුතලේ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී මවක් 10 හැවිරිදි දැරියක් වඩාගෙන දුම්රියට පැන සිය දිවි නසාගැනීමද, 6 හැවිරිදි දියණිය උපකාරක පන්තියකට තම යතුරු පැදියෙන් රැගෙන යමින් සිටි මවක් (මහව) නාගොල්ලාගම ඇදාගල එම දියණිය සමගම දුම්රියට බිලිවීම ද ඉතා මෑතකදී සිදුවු ඉතා කනගාටුදායක සිදුවීම්ය.

කල්පනාකාරීව රිය පැදවීමෙන් හරස් මාර්ගවලදී සිදුවන අනතුරු වළක්වා ගතහැකි නමුත් දුම්රියට පැන සියදිවි නසාගැනීම්වල කෙළවරක්  දකින්නේ කවදාදැයි සිතාගැනීමට පවා නොහැකිය.

m

No comments:

Post a Comment