Friday, November 25, 2011

ප්‍රවේශ පත්‍ර මිල වැඩි නොකර
දුම්රිය සතු දේපොළ ප්‍රයෝජනයට ගෙන
දෙපාර්තමේන්තුවට ආදායම් වැඩිකරගත යුතුයි

සිරිමන්ත රත්නසේකර

දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල ඉහළ දමා ආදායම් වැඩි කර ගන්නවාට වඩා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති සම්පත් ප්‍රයෝජනයට ගෙන දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහළ නංවා ගැනීම වඩා වැදගත් යෑයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඊ. ඒ. පී. ආරියරත්න මහතා සඳහන් කළේය.

අවම පහසුකම් සලසා දී මගියාගෙන් ආදායම් ඉහළ නංවා ගැනීම වැරැදි පිළිවෙතක්‌ බවත් පහසුකම් සලසාදී ප්‍රවේශ පත්‍ර මිල ඉහළ දැමීමේ වරදක්‌ නොමැති බවත් හෙතෙම සඳහන් කෙළේය.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඊ. ඒ. පී. ආරියරත්න මහතා එම අදහස්‌ පළකළේ ඉකුත් (24 වැනිදා) දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ආරියරත්න මහතා මෙසේ ද පැවැසීය.

අප සතුව ඇති දුම්රිය බලවේග කට්‌ටලවල තත්ත්වය සතුටුදායක නැහැ. ඒවායේ පහසුකම් අවමයි. ඇතැම් දුම්රිය මගීන්ට ගමන් කරන්නට සුදුසු නැහැ. නිසි ලෙස වැසිකිළි නැහැ. මෙම තත්ත්වය වෙනස්‌ කළ යුතුයි.

ඇතැම් දුම්රිය බලවේග කට්‌ටල 80 - 81 අතර කාලයේ මෙරටට ආනයනය කළ ඒවා. තවත් ඒවා 89 - 91 අතර කාලයේදී මෙරටට ගෙන්වපු ඒවා. මේවායේ ගුණාත්මක භාවය, සුවපහසුතාව ඉතා අවමයි.

කල් ඉකුත්වූ දුම්රිය බලවේග කට්‌ටල ඉවත් කළ යුතුයි. නැත්නම් ප්‍රතිසංස්‌කරණය කළ යුතුයි. ඉදිරියේදී නවීන පහසුකම්වලින් සමන්විත දුම්රිය බලවේග කට්‌ටල මෙරටට ලබා ගැනීමට කටයුතු කරනවා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ සැලසුම් විජය සමරසිංහ, නියෝජ්‍ය වැඩ අධිකාරි වී. එස්‌. පොල්වත්ත, නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) කේ. කේ. හේවාවිතාරණ, වැඩ මූලික (මැදිරි හා වැඩ) ඒ. කුලරත්න යන මහත්වරු එක්‌වූහ.

No comments:

Post a Comment